2012-08-23

සුරැකුම්පත් කොමිසමේ හිටපු සභාපති 'කෝප් සභාවට කැඳවන්න'



සුරැකුම්පත් සහ විනිමය නියාමන කොමිසමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ තිලක් කරුණාරත්න පාර්ලිමේන්තුවේ පොදු ව්‍යවසාය කාරක සභාව ඉදිරියට කැඳවන මෙන් එක්සත් ජාතික පක්ෂය ඉල්ලීමක් කොට තිබේ.
අවංකව ගරු සේවයක් කිරීමේ අරමුණින්, ජනාධිපති තුමාගේ ආරාධනයෙන් තමන් කොමිසමේ සභාපති ධුරය භාරගත්තත් එහි අපක්ෂපාතීව සහ ස්වාධීනව කටයුතු කිරීමේ ඉඩ කඩ තමන්ට නොලැබුණු බවයි, ධුරයෙන් ඉවත් වීමෙන් පසු සංදේශය අදහස් දැක්වූ සුරැකුම්පත් සහ විනිමය නියමන් කොමිසමේ හිටපු සභාපති තිලක් කරුණාරත්න පවසන්නේ.
"මාෆියා කණ්ඩායමක්" ශ්‍රී ලංකා කොටස් වෙළඳපොලේ කොටස් ජාවාරමක යෙදී සිටින බව මීට ඉහත ප්‍රකාශ කළ ඔහු, පවත්නා තත්ත්වය යටතේ තවදුරටත් තම පදවිය දැරීම අපහසු බැවින් ඉතා ඉක්මනින්ම පදවියෙන් ඉල්ලා අස්වන බව බීබීසී සංදේශයට දැනුම් දුන්නේ අගෝස්තු 14 වැනිදායි.


සභාපති කෝප් කමිටුව ඉදිරියට

සමාගම් පිලිබඳ පරික්ෂා කිරීමට උත්සාහ කළ අවස්ථා වලදී නොයෙකුත් අන්දමේ බලපෑම් තමාට එල්ල වූ බව කියා සිටින ඔහු තමාට බලපෑම් එල්ල කළේ කව්දැයි හෙළි කළේ නැහැ.
තමාට පෙර සිටි සභාපතිනියටද මෙවැනිම අසීරුතාවයන්ට මුහුණ දීමට සිදුවූ හෙයින් පදවියෙන් ඉවත් වූ බව පෙන්වා දෙන ඔහු, වර්තමානයේ පවතින තත්වය තුළ සුරැකුම්පත් කොමිසමේ සභාපතිධුරයට පත් වන ඕනෑම පුද්ගලයෙකුට අවංකව කටයුතු කිරීමට ඇති ඉඩ ඉතා සීමිත බවයි ප්‍රකාශ කළේ.
ජනමාධ්‍ය මගින් තමා මෙම කරුණු හෙළි කරන්නේ පවත්නා තත්වයේ වෙනසක් ඇති කරගැනීම සඳහා මඟ පෑදීමට යැයිද හිටපු සභාපතිවරයා පවසයි.
මේ තත්වය පිලිබඳ කරුණු සොයා බැලීම සඳහා හිටපු සභාපතිවරයාව පාර්ලිමේන්තුවේ කෝප් හෙවත් පොදු ව්‍යවසාය කාරක සභාව ඉදිරියට කැඳවිය යුතුයැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක කියා සිටියේය.
ඒ සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස කතානායක වරයා උපදෙස් දී ඇතැයිද වාර්තා වේ.
BBC

No comments:

Post a Comment