2012-08-23

කොටස්‌ වෙළෙඳපොළ හොරු!

කොටස්‌ වෙළෙඳපොළ නියාමනය කරන සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපතිවරුන් දෙදෙනකුටම ස්‌වාධීනව රාජකාරි කළ නොහැකිව ඉල්ලා අස්‌වීමට සිදුව තිබේ. තිලක්‌ කරුණාරත්න මහතා ඉල්ලා අස්‌වන බවට ප්‍රකාශ කළ අවස්‌ථාවේ සිට ඉල්ලා අස්‌වූ දිනය දක්‌වාත් ඉන් පසු මේ දක්‌වාත් ඔහුගේ ඉල්ලා අස්‌වීම සහ ඊට තුඩු දුන් වාතාවරණය පිළිබඳ මාධ්‍ය තුළ පුළුල් කතිකාවක්‌ නිර්මාණය වී තිබේ. තිලක්‌ කරුණාරත්න මහතාට ඉල්ලා අස්‌වීමට තුඩුදුන් කරුණුවලට සහ මේ සමස්‌ත මාධ්‍ය කතිකාවට පුළුල් මහජන අවධානයක්‌ ද යොමුව ඇත. ජනාධිපතිවරයා විසින්ම පත් කළ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරුන් දෙදෙනකුටම ඉල්ලා අස්‌වීම හැර වෙනත් කරන්නට දෙයක්‌ නැති තත්ත්වයට පත්වීම ඉතා බරපතළ කාරණයකි. එහෙත් රජය මේ ගැන තවම නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කරයි. මේ අතර පෙරේදා (21 දා) ව්‍යාපාරිකයකු වන දිලිත් ජයවීර මහතා මාධ්‍ය හමුවක්‌ පවත්වා ඔහුගේ අදහස්‌ ප්‍රකාශ කළ අතර එහිදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න රැසකට පිළිතුරු ලබාදීම ද ඔහු විසින් සිදුකළේය. මේ පසුබිම තුළ මතුව තිබෙන අලුත් කරුණු කාරණා පිළිබඳ අපි තවදුරටත් මේ ලිපියෙන් සාකච්ඡා කරමු.


අපට දැනගැනීමට ඇති පරිදි තිලක්‌ කරුණාරත්න මහතා කොමිෂන් සභාවේ සභාපතිවරයා වනවිට එහි ආරම්භ වී තිබූ විමර්ශන ඇනහිට තිබිණි. එම විමර්ශන එසේ නැවතී තිබී ඇත්තේ කොමිෂන් සභාව විසින් ගත් තීරණයක්‌ මත නොවීමද විශේෂත්වයකි. කෙසේ වෙතත් තිලක්‌ කරුණාරත්න මහතා පත්වූ පසු අඩපණව පැවැති විමර්ශන ද යළි ආරම්භ කරනු ලැබිණි. කොටස්‌ වෙළෙඳපොළ තුළ අක්‍රමිකතා සිදුකරන මාෆියාවක්‌ සිටින බවත් ඊට එරෙහිව කටයුතු කරන බවත් ඔහු වරෙක මාධ්‍යයට ප්‍රකාශ කළේය. එහෙත් ඊට පෙර එම මාෆියාව විසින් තිලක්‌ කරුණාරත්න මහතාට එරෙහිව කටයුතු කොට ඔහුට ඉල්ලා අස්‌වීමට සලස්‌වනු ලැබ තිබේ. ඔවුන් දැන් සතුටට පත්ව සිටිනවා විය හැකි නමුත් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් ආරම්භ කළ කොටස්‌ වෙළෙඳපොළ අක්‍රමිකතා පිළිබඳ විමර්ශනවලට කුමක්‌ සිදුවනු ඇති ද? ඒවා යළිත් හමස්‌ පෙට්‌ටියටම යයිද? තිලක්‌ කරුණාරත්න මහතාට ඉල්ලා අස්‌වන්නට සිදු වූයේ අඩපණකර තිබූ කොමිසමේ විමර්ශන යළි ආරම්භ කිරීමට පියවර ගත් නිසාද? මේ ප්‍රශ්න අද කාටත් ඇතිව තිබේ.

හොඳ කොටස්‌ වෙළෙඳපොළක්‌ අවශ්‍ය නම් එහි තිබෙන අක්‍රමිකතාවලට එරෙහිව පියවර ගැනීමද අත්‍යවශ්‍යය. එහෙත් මේ කියන්නේ ඒවා මුළුමනින්ම නැති කළ හැකිය යන්න නොවේ. ලෝකයේ සෑම කොටස්‌ වෙළෙඳපොළකම අක්‍රමිකතා අඩුවැඩි වශයෙන් සිදු වනවා විය හැකිය. එහෙත් කොටස්‌ වෙළෙඳපොළ තුළ ඕනෑම අක්‍රමිකතාවක්‌ සිදුකර ඒවාට දඬුවම් ලබනවා තබා කිසිදු විමර්ශනයකට හෝ භාජනය නොවන තත්ත්වයක්‌ පවතින්නේ නම් එය අතිභයංකර තත්ත්වයකි. අක්‍රමිකතාවලට සම්බන්ධ අය එවැනි තත්ත්වයකට කැමැති විය හැකි වුවද එය සමස්‌තයක්‌ ලෙස කොටස්‌ වෙළෙඳපොළ ආයෝජකයන්ට ආරක්‍ෂිත වාතාවරණයක්‌ නොවේ. එවැනි තත්ත්වයක්‌ හමුවේ කොටස්‌ වෙළෙඳපොළ පිළිබඳ පවතින විශ්වාසය බිඳවැටෙන අතරම කොටස්‌ වෙළෙ¹ම දෙතුන් දෙනකුගේ සූදුවක්‌ බවට පත්වීම ද වැළැක්‌විය නොහැකිය. එසේ කිහිප දෙනකුගේ බූදලයක්‌ බවට පත්ව ඇති කොටස්‌ වෙළෙඳපොළකට සාධාරණ ආයෝජකයෙක්‌ පැමිණීමට බියවීමද අනිවාර්ය කරුණකි. දැනට සිදුවෙමින් පවතින දේ අනුව "කොටස්‌ වෙළෙඳපොළත් හොරු අතට" පත්වී ඇතැයි යන ආකල්පය සාමාන්‍ය මහජනයා තුළ ඇති වීමද වැළැක්‌විය නොහැකි බව අකැමැත්තෙන් වුවත් අපට කියන්නට සිදුව තිබේ.

සුරැකුම්පත් හා විනිමය කොමිසමේ හිටපු සභාපතිවරයා කොමිසම හමුවේ විභාග වෙමින් පැවැති විමර්ශන 17 ක්‌ මාධ්‍යයට හෙළිකර තිබීම ද දිලිත් ජයවීරගේ විවේචනයට ලක්‌විය. ඔහු පෙරේදා (21 දා) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ තිලක්‌ කරුණාරත්න මහතා විමර්ශන 17 ක්‌ ඇතැයි හෙළි කරන්නේ නම් එම විමර්ශන සිදුකෙරෙන්නේ කාට එරෙහිව ද යන්නත් හෙළි කළ යුතු බවයි. එහෙත් මෙහිදී බොහෝ මාධ්‍යවේදීන් ප්‍රකාශ කළේ විමර්ශන කළ පමණින් ඔවුන් තවමත් වරදකරුවන් වී නොමැති බැවින් එය හෙළිදරව් කිරීම නුසුදුසු බවයි. මේ ලියුම්කරුගේ අදහස වන්නේද යම් විමර්ශන ප්‍රමාණයක්‌ සිදුකරන බවට මාධ්‍යට හෙළි කිරීමේ වරදක්‌ නැති බවයි. වරදක්‌ සිදුවන්නේ තවමත් වරදකරුවන් නොවී, විමර්ශනවලට භාජනය වී සිටින ආයෝජකයින්ගේ හෝ ආයතනවල අනන්‍යතාව හෙළි කළ හොත්ය. එවැන්නක්‌ තිලක්‌ කරුණාරත්න මහතා සිදුකොට නැත. ඒ නිසා විමර්ශන 17 ක්‌ පැවති බව කීම හෝ සුරැකුම්පත් හා විනිමය කොමිසම විසින් එම විමර්ශනවලට අදාළව තොරතුරු විමසීමේ රහස්‍ය ලිපි යෑවීම පිළිබඳ මහා භීතිකාවක්‌ මවන්නට ඇතැම් පුද්ගලයෝ උත්සහ කරති. ඇත්ත වශයෙන්ම සමස්‌ත ආයෝජක ප්‍රජාවම භීතියට පත් කරන්නේ සුරැකුම්පත් කොමිසම විසින් ලිපි යෑවීම නිසා නොව එම ලිපි මාධ්‍යයට දී ඒවා ප්‍රසිද්ධියට පත් කිරීමෙන් සහ කොමිසමේ විමර්ශනවලට බලපෑම් කිරීමෙන් බව අපේ හැඟීමයි.

එක්‌තරා පුවත්පතකින් ඔබට ඇති වූ ප්‍රශ්නය කුමක්‌දැයි අසා තිබුණු ප්‍රශ්නයකට තිලක්‌ කරුණාරත්න පිළිතුරු ලෙස පවසා ඇත්තේ කොටස්‌ වෙළෙඳපොළේ මාෆියාකාරයන්ගේ වංචාවන් ගැන සොයා බැලීම තමාට ඇති වූ ප්‍රශ්නය බවයි. ජනාධිපතිරයා සහ කොටස්‌ වෙළෙඳපොළේ විවිධ පාර්ශ්වකරුවන් අතර මීට ටික කලකට ඉහතදී පැවැති සාකච්ඡාවකදී කරුණු ඉදිරිපත් කිරීමට වැඩි අවස්‌ථාවක්‌ ලැබී තිබුණේ කොටස්‌ වෙළෙඳපොළ නියාමකයා වන සුරැකුම්පත් හා විනිමය කොමිසමට හෝ කොටස්‌ වෙළෙඳපොළ බලධාරීන්ට වඩා ඇතැම් ආයෝජකයන්ට හා තැරැව්කරුවන්ටය. මේ සම්බන්ධයෙන් තිලක්‌ කරුණාරත්න මහතා මාධ්‍යයට කියා තිබුණේ "තරඟ විනිසුරු හා හොරු එක පැත්තක" බවය.

මේ අනුව ඉන්ද්‍රdණී සුගතදාස මහත්මියට මෙන්ම තිලක්‌ කරුණාරත්න මහතාට ද ඉල්ලා අස්‌වීමට බලපෑ ඇත්ත හේතුව පැහැදිලිය. එනම් කොටස්‌ වෙළෙඳපොළ අක්‍රමිකතා ගැන විමර්ශන පවත්වා ඊට වගකිවයුත්තන්ට එරෙහිව පියවර ගැනීමට සූදානම් වීමයි. මේ නිසා කොටස්‌ වෙළෙඳපොළ අක්‍රමිකතාවලට සම්බන්ධ පිරිස්‌වලට රජයේ ඉහළම දේශපාලන ආශිර්වාදය ලැබෙන බව ද පෙනෙන්නට තිබේ. ඉන්ද්‍රdණී සුගතදාසට තනතුර හැර දමා යන්නට සිදු වූයේ ද මේ නිසාය. තිලක්‌ කරුණාරත්නට ඔහු ඉල්ලා අස්‌වන්නට ආසන්න දිනවලදී "තිලක්‌ යනව නම් හොඳයි" කියා පණිවුඩ ලැබී තිබෙන්නේත් ඉන්ද්‍රdණී සුගතදාස සහ තිලක්‌ කරුණාරත්න යන (හිටපු) සභාපතිවරුන් දෙදෙනාටම ස්‌වාධීනව රාජකාරී කිරීමට ඉඩ නොදී බලපෑම් කළ කොටස්‌ වෙළෙඳපොළ බලවතුන්ට තිබෙන රජයේ දේශපාලන ආශිර්වාදය නිසා නොවේද? එසේ නම් සාධාරණ ආයෝජකයාගේ රැකවරණය ගැන තවදුරටත් විශ්වාසයක්‌ තබන්නට පුළුවන්කමක්‌ නැත. මෙය කොටස්‌ වෙළෙඳපොළ, හොරු ගැනීමට ඉඩ දීමක්‌ නොවේද? මේ තත්ත්වය ඉතා ෙ€දජනකය. මේ නිසා කොටස්‌ වෙළෙඳපොළ පිළිබඳ මහජන විශ්වාසය බරපතල පඵදු වීමකට ලක්‌වීම වැළැක්‌විය නොහැකිය.

By:Divaina

No comments:

Post a Comment